තාරකා විද්‍යාව ගැන හසළ දැනුමක් සතුවූ මායා ශිෂ්ටාචාරයේ කතාව

Wednesday, June 19, 2013

මධ්‍යම ඇමෙරිකාවේ මායා ශිෂ්ටාචාරය ඇරඹුණේ මීට වසර 2000 පෙරයි. මායා ශිෂ්ටාචාරයේ ස්වර්ණමය යුගය ලෙස සැළකෙන්නේ කි‍්‍ර.ව. 300-900 ත් අතර කාලයයි. මායාවරු සංකීර්ණ ජන කොට්ඨාශයකි. තාරකා විද්‍යාව ගැන හසළ දැනුමක් ඔවුන් සතුවිය. ඔවුහු දක්ෂ ගණිතඥයින් වූහ. ලේඛන කලාව ද ඔවුන් විසින් ප‍්‍රගුණ කර තිබුණි. මායාවරු පැලෙන්ක් සහ ටිකාල් වැනි මහා නගර ඉදි කළහ. මේ නගරවල නටබුන් හා ඒවායේ ඉදිකළ දැවැන්ත දේවාල අද පවා දකින්න ලැබේ. මායාවරුන් මධ්‍යම ඇමෙරිකාවට අයත් ප‍්‍රදේශවල විසූ ජනයා සමඟ වෙළඳ ගනුදෙනු පවා කර ඇති බව සඳහන්ය. දෙවි දේවතාවුන් ගණනාවකටම පුද පූජා කරන්නට ඔවුහූ එකල පෙලඹී සිටියහ. ඔවුන් ඒ ආගමික වත් පිළිවෙත් සිදු කළේ ඔවුන්ගේ දින දර්ශනයට අනුවය. ඔවුන්ගේ ශිෂ්ටාචාරය වසර 700 කට වඩා කාලයක් පැවතිණි. ඔවුන්ගේ සංස්කෘතිය පරිහානියට ලක්වුණේ ස්පාඤ්ඤවරුන්ගේ පැමිණීමත් සමඟය. ඒ කි‍්‍ර.ව. 1500 මුල් කාගයේදීය.




ආගමික විශ්වාස හා බිලි පූජා
මායාවරු ඔවුන්ගේ දින දර්ශනයේ සටහන් වූ විශේෂ දිනවලදී නොයෙක් නොයෙක් විශේෂ ආගමික වත්පිළිවෙත් සිදු කළහ. මේ හැම කටයුත්තක්ම සිදුවුණේ රජුගේ මූලිකත්වයෙනි. මිනිසුන් හා සතුන් බිලිදෙමින් රුධිර පූජා පැවැත්වීම මෙම ආගමික කටයුතුවලදී මුල්තැනක් ගන්නා ලදී. මායාවරු රුධිරය බිලි දුන්නේ ඔවුන්ගේ දෙවිවරුන් පෝෂණය කිරීම සඳහායි. මේ බිලි පූජා සඳහා බහුලව යොදා ගැනුනේ සිරකරුවන් සහ කාත් කවුරුත් නැති අනාථයින්ය.

මායාවරුන්ගේ දේවාල
හැම මායා නගරයකම ආගමික මධ්‍යස්ථානයක් තිබිණි. දැවැන්ත පඩි පිරමීඩ මේ ආගමික මධ්‍යස්ථානයි. ඒවා මුදුනේ දෙවියන් වෙනුවෙන් බිලි පූජා, යාගහෝම පැවැත්වූ පූජනීය දේවාල ඉදිකර තිබේ. මෙය දෙවියන්ට සමීප වීමේ මඟක් ලෙස මායාවරු සැලකූහ. දෙවියන් තමන් හා සමීප වන්නේ අහසින් බව මායාවරුන්ගේ විශ්වාසය විය. මෙම පුද පූජා සහ යාගහෝම සාමාන්‍ය වැසියන්ට නොපෙනෙන අයුරින් පවත්වන ලදී.

‘පැලෙන්ක්’ නගරයේ ‘පැකාල්’ රජ්ජුරුවෝ
7 වැනි ශතවර්ෂයේ දියුණු වූ ශ්‍රේෂ්ඨ නගරයක් බවට පත් වූයේ පැලෙන්ක් නගරයයි. පහත් බිම් ප‍්‍රදේශයේ පිහිටි මේ නගරයේ පාලන කටයුතු සිදු කළේ පැකාල් රජු විසිනි. පැකාල් ශ්‍රේෂ්ඨ රජකු ලෙස ද ප‍්‍රසිද්ධ විය. රජු නගරයේ විශාල මාළිගාවක් සහ පිරමීඩ දේවාල 7 ක් ඉදිකරවන ලදී. පැකාල් රජු පැලෙන්ක් නගරය වටා පිහිටි ජනපද හා රාජ්‍යවල තම බලය තහවුරු කර ගත්තේ හමුදා ආක‍්‍රමණ කිරීමෙන් සහ විවාහ සබඳතා මගිනි.


ලේඛන සඳහා කැටයම් කළ සංඥා 
මායාවරු ඔවුන්ගේ ලේඛන සඳහා කැටයම් කළ සංඥා හා සලකුණු යොදා ගත්හ. මායාවරුන්ගේ සංකීර්ණ දින දර්ශනයේ දින සටහන් කර තිබෙන්නේ ද මේ සංඥා යොදා ගනිමිනි. මේ දින දර්ශනය නිර්මාණය කර ඇත්තේ සූර්යයාගේ වෙනස්වීම් අනුවයි. මායා පාලකවරුන්ගේ නම් සහ ඔවුන්ගේ පාලන කාලයන් ගැන තොරතුරු සටහන් කිරීම සිදු කරනු ලැබුවේ ද මේ සංඥා යොදා ගනිමිනි. මේ සංඥා බොහොමයක් ඇත්තේ පින්තූර ආකාරයෙනුයි. ඒවායින් අදහස් නිරූපණය කෙරිණි. උදාහරණයක් ලෙස පලිහක සහ යගදාවක ඇති රූප සංඥාවල අදහස එක්ව ගත් විට එහි තේරුම යුද්ධය යන්නයි.

මායාවරු
මායා සංස්කෘතියේ ඉහළින්ම පාලකයෙක් හෝ රජ කෙනෙක් සිටි අතර ඔහුට පහළින් වංශවත් රදලයෝ සිටියහ. මොවුන් අතර ඉහළ සමාජ තලයක සිටි ගොවීන්, වෙළෙඳුන් සහ පූජකයෝ වූහ. සාමාන්‍ය ජනයා සිටියේ ඔවුන්ට පහළිනි. ඔවුහූ ගොවිපළවල සේවකයන්, දඩයක්කාරයන් හා අත්කම් නිර්මාණකරුවන් ලෙස කටයුතු කළහ. ඔවුන්ටත් පහළින් සිටි අය වූයේ යුද්ධවලදී අල්ලා ගත් වහලූන්ය. ගොඩනැගිලි ඉදිකිරීමේ කටයුතු ආදී බරපතල වැඩ කටයුතු ඉටු කෙරුණේ ද ඔවුන් අතිනි. අද අප දකින පැසි පන්දු ක‍්‍රීඩාවට සමාන ක‍්‍රීඩාවක් මායාවරුන් අතරේ පැවතිණි. රබර් බෝලයකට ඇඟන් ගසා එය කී‍්‍රඩාංගනයේ ඉහළින් සවි කළ වළලූ අතරින් පැන්නවීම මෙම ක‍්‍රීඩාවේ ප‍්‍රධාන අංගය විය.

වෙළඳ ගනුදෙනු
මායාවරුන් ජීවත් වුණේ මනාව සැලසුම් කළ නගරවලින් සැදුම්ලත් ජනපදවලය. ඒ හැම ජනපදයකට ම පාලකයකු සිටි අතර ඝන ලාවාවලින් සෑදෙන ඔබ්සිඩියන් පාෂාණ, කොකෝවා, කපු සහ නොයෙක් විධියේ කුලූබඩු වර්ග සම්බන්ධයෙන් වෙළඳ ගනුදෙනු පාලනය කරනු ලැබුවේ මෙම පාලකයා විසිනි. එමෙන්ම ඔවුහු අසල්වැසි ජනපද සමඟ යුද වැදුනහ. කුරුල්ලන් අල්ලන දඩයක්කරුවෝ වර්ණවත් කුරුලූ පිහාටුවලින් වෙළඳ ගනුදෙනු කළහ. ඉතාමත් අලංකාර හිස් පලඳනා සැරසීමට මෙම කුරුලූ පිහාටු යොදා ගැනිණ.


ගොවිතැන් කටයුතු
කඳුකර ප‍්‍රදේශවල වනාන්තර එළිපෙහෙළි කළ ගොවීහු බෝංචි, ඉරිඟු සහ වැල් වට්ටක්කා වගා කළහ. එමෙන්ම ඔවුහු කළුකුම් ගොවිපළවල් හා මීමැසි ජනපද පවත්වාගෙන ගියහ. මායාවරුන් ගොවිපළවල හීලෑකරගත් සතුන් ඇති නොකළහ. එහෙත් මායාවරු බල්ලන් ඇති කළහ. ගමන් බිමන් යාමට හෝ බඩු භාණ්ඩ රැගෙන යාමට කරත්ත හෝ අත් කරත්ත නොතිබුණු අතර ඔවුන්ට තිබුණේ සෙල්ලම් කරත්ත පමණි.

විශාලතම මායා නගරය - ‘ටිකාල්
විශාලතම මායා නගරය ලෙස සැලකෙන්නේ ‘ටිකාල්’ නගරයයි. මේ ප‍්‍රදේශය වර්තමානයේ අයත් වන්නේ ගුවතමාලාවටයි. ටිකාල් නගරයේ ජනගහනය 60,000 කි. මායා පූජකයින් පිරමීඩවල සිදු කළ යාගහෝම හා පුද පූජා දැකබලා ගැනීමට පිරමීඩ පාදමේ පිහිටි සමචතුරස‍්‍රාකාර භූමි ප‍්‍රදේශවලට රැස් වූහ. සූර්යයාගේත් චන්ද්‍රයාගේත් ග‍්‍රහලෝකවලත් වෙනස් වීම් හොඳින් තේරුම් ගැනීමට මායා පූජකයින්ට හැකි වූ නිසා කල් තියා සූර්යයාගේ හා චන්ද්‍රයාගේ සිදුවන වෙනස්වීම් සම්බන්ධයෙන් අනාවැකි පළ කළ හැකිවිණි. මෙම බිලිපූජාවලදී මිනිසුන් බිලි දී සිරුරු පතුළ නොපෙනෙන පිරමීඩ අසළම ඉදිකළ පූජනීය ළිංවලට විසි කරන ලදී.

කි‍්‍ර.පූ. 3372 - මායන් දින දර්ශකයේ පළමු දිනයයි.

කි‍්‍ර.පූ. 400 - මේ අවධියේදී මායාවරු විශාල දේවාල පිරමීඩ කිහිපයක් නිර්මාණය කළහ.  ගුවතමාලාවේ දැකිය හැක්කේ එවැනි එක් පිරමීඩයකි.

කි‍්‍ර.ව. 250 - මායා ශිෂ්ටාචාරයේ ස්වර්ණමය යුගය ආරම්භ වේ. මායාවරු තියෝතිහවුකාන් ජනයාගේ නිර්මාණ ශීලී අදහස් අනුකරණය කළහ.

කි‍්‍ර.ව. 700 - මායන් නගර දියුණුවෙන් දියුණුවට පත්විණි.

කි‍්‍ර.ව. 900 - මයා ශිෂ්ටාචාරයේ පිරිහීම ඇරඹිණි. මීට ප‍්‍රධානතම හේතුව ලෙස පුරාවිද්‍යාඥයින් පවසන්නේ ලෙඩ රෝග පැතිර යාම සහ වගාබිම් පාළු වීමයි. ප‍්‍රධාන පෙළේ මායා නගර අත්හැර දැමිණි. පහත් බිම්වල ජීවත්වූ ජනයා මෙක්සිකෝවේ සහ ගුවතමාලාවේ උස් බිම්වල පදිංචියට ගියහ. ඔවුන් උස් කඳුකරයේ අලූතින් නගර ඉදිකර ගත්හ. මේ අතරින් වැදගත්ම මායා නගරය වුණේ චිචන් ඉට්සා නගරයයි. අනෙක් නගර මෙන්ම මෙහි පාලන කටයුතු සිදු කරනු ලැබුවේ ද උපදේශක මන්ත‍්‍රණ සභාවක් (කවුන්සිලයක්) විසිනි.

කි‍්‍ර.ව. 1250 - මයා ශිෂ්ටාචාර යළි පිබිදීමක් ඇතිවීමත් සමඟ චිචන් ඉට්සා වෙනුවට මායාපාන් නගරය මායාවරුන්ගේ ප‍්‍රධාන නගරය බවට පත්විණි.

කි‍්‍ර.ව. 1440 - මායා පාලකයන්ට විරුද්ධව අනෙක් නගරවලින් කැරලි කෝලහාල හට ගැනිණ. එකිනෙකා අතරේ ඇති වූ යුද ගැටුම් හේතුවෙන් මායාවරු දුර්වල වූහ.

කි‍්‍ර.ව. 1440 - මායාපන් පාලකයින්ට විරුද්ධව අනෙක් නගරවලින් කැරළි කෝලහාල හට ගැනිණ. එකිනෙකා අතරේ ඇති වූ යුද ගැටුම් හේතුවෙන් මායාවරු දුර්වල වූහ.

කි‍්‍ර.ව. 1517 - ස්පාඤ්ඤ ජාතිකයෝ මායාවරුන්ගේ දේශයට පැමිණීයහ. කි‍්‍ර.ව. 1500 මැද භාගය වෙද්දී මායාදේශය පාලනය කළේ ස්පාඤ්ඤය විසිනි.


...............................................................................................................................

යුද්ධයට අති දක්ෂ ඇස්ටෙක්වරු


1519 දී ස්පාඤ්ඤ දේශ ගවේෂක හර්නාන් කෝටේස් (1485-1547) සහ ස්පාඤ්ඤ හමුදා මෙක්සිකෝ නිම්නය ආක‍්‍රමණය කරද්දී එක්තරා රතු ඉන්දියානු ගෝත‍්‍රයක් එම ප‍්‍රදේශයේ විශාල අධිරාජ්‍යයක් පිහිටුවා ගෙන සිටියහ. මේ රතු ඉන්දියානුවෝ දඩයම් යුගය අත්හැර නාගරීක ශිෂ්ටාචාරයකට හැඩ ගැසුණු පිරිසක් වූහ. එසේ ම යුද්ධයට අති දක්ෂයෝ වූහ. ඔවුන් විශ්වාස කළේ ඔවුන් ඇදහූ දෙවිවරුන් ලේ පිපාසියෙන් පිරුණු අය ලෙසයි. ඒ නිසා බිලි පූජාවලින් ඒ දෙවිවරුන් පිදූහ. ස්පාඤ්ඤ හමුදා පැමිණෙන විට මෙම ගෝත‍්‍රිකයෝ ඔවුන්ට පක්ෂපාතී අනෙකුත් ගෝත‍්‍රික ජන කොටස් හා එක්ව මිලියන 25 කට වැඩි මහා ජනකායක් පාලනය කරමින් සිටියහ. ඔවුන්ව හැඳින්වෙන්නේ ‘ඇස්ටෙක්’ යන නමිනි. මේ ඔවුන්ගේ කතාවයි.


ඇස්ටෙක්වරුන්ගේ ආරම්භය
1100-1300 අතර කාලයේ මධ්‍යම ඇමෙරිකාවේ විශාල ප‍්‍රදේශයක ටොල්ටෙක් යනුවෙන් අධිරාජ්‍යයක් පැවතිණි. උතුරින් ආ ම්ලේච්ඡු ගෝත‍්‍රිකයන්ගේ ආක‍්‍රමණ හමුවේ මෙම අධිරාජ්‍යය බිඳ වැටිණි. මෙම ගෝත‍්‍රිකයන් අතර ඇස්ටෙක් යනුවෙන් හැඳින්වූ ගෝත‍්‍රයක් ද විය. ටෝල්ටෙක් අධිරාජ්‍යයේ බිඳ වැටීමත් සමඟම ඇති වූ අවුල් වියවුල් තත්වය නිමා වූයේ 13 වැනි සියවස අවසානයේ නගර රාජ්‍යයන් කිහිපයක් බිහිවීමත් සමඟය. ඉන්පසු මෙම නගර රාජ්‍යයන් අතර ආධිපත්‍යය වෙනුවෙන් ඇරඹුණු සටන් අවසන් වූයේ ඇට්සපොට්සොලෙක් හෙවත් ටෙපනෙක් රාජ්‍යය බිහිවීමෙනි. ඇස්ටෙක්වරුන් මුලින්ම ප‍්‍රසිද්ධියට පත්වූයේ ටෙපනෙක් රාජ්‍යයේ කුලී සෙබළුන් ලෙසයි. සටන් කිරීම ප‍්‍රධාන වෘත්තීය කොටගත් ඇස්ටෙක්වරුන් ඔවුන්ගේ සමාජ රටාවන් සකස් කළේ මේ අවධියේ දීය.

ඇස්ටෙක් කැරැල්ල
1427 දී ඒකාධිපති පාලනයක් ගෙන ගිය ටෙපනෙක් රජු මියයාමත් සමඟ රාජ්‍යයේ පාලනය ගැන කලකිරී සිටි අනෙකුත් ගෝත‍්‍රිකයෝ ඇස්ටෙක් ගෝත‍්‍රිකයන්ගේ ප‍්‍රධානත්වයෙන් කැරැළි ගසා නගර රාජ්‍ය සංගමයක් පිහිටුවා ගත්හ. මෙම රාජ්‍ය සංගමයේ ප‍්‍රධාන තැන හිමිවූයේ ඇස්ටෙක් රාජ්‍යයටයි.


ඇස්ටෙක් රාජ්‍යය 
ප‍්‍රථම නිදහස් ඇස්ටෙක් රජු වූයේ ඉට්ස් කෝට්ල් ය. ඒ 1428 සිට 1440 දක්වා කාලයයි. ඇස්ටෙක් ශිෂ්ටාචාරයේ දියුණුව ආරම්භ වුණේ මේ අවධියේ දී බව පුරාවිද්‍යාඥයෝ කියති. තමන් ඇදහූ ලේ පිපාසිත බිලි පූජා අපේක්ෂා කළ දෙවිවරුන්ට මහා දේවාල තැනීමත් පූජක පන්තියක් බිහිවීමත් සිදුවූයේ මේ කාලයේදීය. යුද්ධ කිරීමත් බිලි පූජා සඳහා වහලූන් එකතු කිරීමත් ඇස්ටෙක්වරුන්ගේ ප‍්‍රධාන ප‍්‍රතිපත්තිය විය.

දේශපාලන විත්ති
ඇස්ටෙක් රාජ්‍යයේ දේශපාලන ව්‍යාප්තිය ඇරඹුණේ 1400 සිට 1468 දක්වා විසූ පළමුවන මොන්ටෙසුමා රජුගේ කාලයේ දීය. දේශපාලන කටයුතුවල උච්ඡුතම අවස්ථාව ලෙස සැලකෙන්නේ ශ්‍රේෂ්ඨ අධිරාජ්‍ය නිර්මාපකයෙකු වූ අහුයීට්සොට්ල් (1486-1502) රජුගේ පාලන සමයේයි. අහුයීට්සොට්ල් අධිරාජ්‍යය මධ්‍යම හා දකුණු මෙක්සිකෝව දක්වා පැතිර පැවතිණි. ටෙනොච්ටිට්ලාන් නගරයේ ඇති විශාලතම දේවාලය ඉදි කරනු ලැබුවේ ද මේ අවධියේ දීය. මේ දේවාලය ඉදිකිරීම වෙනුවෙන් වහලූන් 20,000 ක් බිලි දුන් බවට පුරා විද්‍යා සාක්ෂි හමුවී තිබේ.

දෙවැනි මොන්ටෙසුමා අධිරාජ්‍යයා
1502 දී රජවූ දෙවැනි මොන්ටෙසුමා (1466-1520) අධිරාජ්‍යයා දාර්ශනික අදහස් දැරූ අයෙකි. වෙනත් ගෝත‍්‍රවල දෙවිවරු වෙනුවෙන් ද දේවාල ඉදිකිරීමට ඔහු ඉදිරිපත් වූයේය. ස්පාඤ්ඤයන්ගේ ආක‍්‍රමණත් සමඟ අවසාන ඇස්ටෙක් පාලකයා වන්නේ දෙවැනි මොන්ටෙසුමා අධිරාජ්‍යයායි. 1519 දී ස්පාඤ්ඤ ආක‍්‍රමණික කෝර්ටේස් නැව්වලින් පැමිණ මෙක්සිකෝවට ගොඩබට මොහොතේ දී වෙරළාසන්න ගෝත‍්‍රිකයෝ ඇස්ටෙක් රාජ්‍යයට එරෙහිව ස්පාඤ්ඤ සෙබළුන්ට සහය පළ කළහ. මෙම ගෝත‍්‍රිකයන්ගේ මඟ පෙන්වීම අනුව කෝර්ටේස් කුඩා ස්පාඤ්ඤ හමුදාවක් සමඟ ටෙනොච්ටිට්ලාන් නගරයට ඇතුලූ විය. මොන්ටෙසුමා ඔවුන් ව සාදරයෙන් පිළිගත්තේ කෝර්ටේස් ඔවුන්ගේ ක්වෙය්සල්කෝට්ල් නම් ඇස්ටෙක් දෙවියන් ලෙස සැලකූ නිසායි. දෙවැනි මොන්ටෙසුමා යටත් වුනත් සෙසු ඇස්ටෙක්වරු කෝර්ටේස් දෙවියකු ලෙස පිළිගත්තේ නැත. මේ නිසා ඇස්ටෙක්වරු හා ස්පාඤ්ඤ සෙබළුන් අතර 1521 දී ඇතිවූ සටන් අවසන් වුණේ ඇස්ටෙක් අධිරාජ්‍යය සම්පූර්ණයෙන්ම විනාශ වීමත් සමඟය. ස්පාඤ්ඤවරු මොන්ටෙසුමා අධිරාජ්‍යයා ප‍්‍රාණ ඇපකරුවකු ලෙස අල්ලා ගෙන සිරගත කරන ලදී. මොන්ටෙසුමා රජු සිර අඩස්සියේ සිටියදී මියගිය බව ඓතිහාසික වාර්තාවල සඳහන් වී තිබේ.

කෝර්ටේස් ලැබූ ජයග‍්‍රහණය
කෝර්ටේස්ට ඇස්ටැක්වරුන් ව පරාජය කිරීමට හැකි වුණේ නවීන අවි ආයුධවල උපකාරයෙන් සහ කුමන්ත‍්‍රණ කිරීම් මගිනි. ඇස්ටෙක්වරුන් මිථ්‍යා විශ්වාසවල එල්බ ගෙන සිටීමත්, ස්පාඤ්ඤ ආක‍්‍රමණ සමයේ දී වසංගත හා ලෙඩරෝග ඔවුන් අතරේ පැතිර යාමත් කෝර්ටේස් ප‍්‍රමුඛ ස්පාඤ්ඤ හමුදාවලට වාසියක් සැලසිණි. කෝර්ටේස් විසින් ඇස්ටෙක්වරුන් සමූල ඝාතනය කිරීමේ සිද්ධිය ලෝක ඉතිහාසයට එක් වූ දරුණුතම මිනිස් ඝාතනයක් ලෙස සැලකේ. සටන් අවසානයේ දී පරාජයට පත් වී ඉතිරි වූ ඇස්ටෙක්වරුන් කිහිප දෙනා ද ඔවුන්ගේ නගර අතහැර ගියේ සාපලත් භූමියක් ලෙස විශ්වාස කළ නිසයි. මේ අයුරින් ස්පාඤ්ඤ ආක‍්‍රමණ නිසා ඇස්ටෙක් සංස්කෘතිය මුළුමනින්ම විනාශ වී ගියේය. ඉතිරිව ඇති නටඹුන් සහ ස්පාඤ්ඤ වාර්තා කියවීමෙන් ඇස්ටෙක් සංස්කෘතිය ගැන කරුණු සොයා ගැනීමට අපට හැකිවී තිබේ. ඇස්ටෙක් ශිෂ්ටාචාරය විනාශ වුණත් අද විශාල වශයෙන් මෙක්සිකෝවේ සිටින්නේ ඇස්ටෙක්වරුන්ගෙන් පැවැත එන්නන්ය.


ඇස්ටෙක් සංස්කෘතිය
ඇස්ටෙක් සමාජය ප‍්‍රධාන වශයෙන් පන්ති හතරකින් යුත්ක විය. එයින් ප‍්‍රධාන තැන හිමිවුණේ යුද කටයුතුවල යෙදී සිටි රණශූරයින්ටයි. ඊට හේතු වූයේ ඇස්ටෙක්වරුන්ගේ ප‍්‍රධානතම කාර්යය වූයේ සටන් කිරීමයි. ඔවුන්ට යුද ශිල්ප ගැන මනා අවබෝධයක් තිබුණු අතර යුද්ධ කළේ මනා සංවිධානයකිනි. යුද්ධ කිරීමේ මූලික අරමුණ වූයේ දෙවිවරුන්ට බිලි දීම සඳහා වහලූන් අල්ලා ගෙන ඒමයි. 1519 දී හර්නාන් කෝර්ටේස් ඇස්ටෙක් අගනුවරට පැමිණෙද්දී බිලි පූජාවලට ලක්වූ මිනිස් හිස්කබල් 1,00,000 ක් එල්ලා තිබිණි.

ඇස්ටෙක් ආර්ථිකය
ඇස්ටෙක් ආර්ථිකය මුළුමනින් ම රැඳී පැවැතියේ කෘෂිකර්මය පදනම් කර ගෙනයි. වගුරුබිම් ගොඩ කරමින් වගා කටයුතු කිරීමට ඔවුන්ට මනා දැනුමක් තිබිණි. ‘චිනම්පා’ යනුවෙන් හැඳින්වෙන මේ වගා ක‍්‍රමය අදත් මෙක්සිකෝ ගොවීන් විසින් භාවිත කරනු ලබයි. මේ අනුව ඇස්ටෙක් ශිෂ්ටාචාරය පැරණි මිසර, ඉන්දු නිම්න හා චීන ශිෂ්ටාචාර හා සම කළ හැකිවේ.

ඇස්ටෙක් ලිත
නිවැරදිව කාලය ඇඟවීමට සමත් වූ ලිතක් ඇස්ටෙක්වරු භාවිතා කළහ. මේ ලිත කොටා ඇති ගල් ඵලකයක් අදත් දකින්නට හැකිය. ඔවුන් මේ ලිත සකස් කිරීමට භාවිතා කළේ චිත‍්‍රාක්ෂරයි.

වෛද්‍ය විද්‍යාවටත් දක්ෂයි
ඇස්ටෙක්වරු වෛද්‍ය විද්‍යාවට ද දක්ෂ පිරිසක් වූහ. දක්ෂ වෛද්‍යවරු, ආරෝග්‍යශාලා මෙන්ම සාත්තු සේවිකාවන් පවා සිටි බවට සාක්ෂි හමු වී තිබේ. මීට අමතරව ක‍්‍රීඩා ද ඇස්ටෙක් ජීවිතයේ වැදගත් අංගයක් ලෙස සැලකේ.

ගෘහ නිර්මාණ ශිල්පය හා මූර්ති කලාව
ගෘහ නිර්මාණ ශිල්පය සහ මූර්ති කලාව අතින් ඇස්ටෙක්වරු විශාල දියුණුවක් ලබා සිටියහ. මේ කලාවන් සියල්ල බිහිවූයේ ආගමීක විශ්වාසයන් හා අවශ්‍යතා අනුවයි. ස්වභාවික වස්තූන් දේවත්වයෙන් ලා සැළකීමට ඇස්ටෙක්වරු පුරුදු වී සිටියහ. ඔවුන් මේ දෙවිවරු වෙනුවෙන් යෝධ දේවාල පිරමීඩ හා රජ මාළිගා නිර්මාණය කළහ. දැන් නටඹුන් වී ඇති මෙම දෙව් මැඳුරු, ගල් පිළිම, ඇස්ටෙක්වරුන්ගේ ගෘහ නිර්මාණ ශිල්පයේ බල මහිමය පෙන්වීමට සමත්වේ. පුරාණ ඇස්ටෙක් නගරවල වෙළඳාම් කටයුතු ඉතා දියුණුවට පත්වී තිබිණි. මේ නිසාම කෝර්ටේස් සහ ස්පාඤ්ඤ හමුදා ටෙනොච්ටිට්ලාන් නගරය නම් කළේ දෙවැනි වැනීසිය යනුවෙනි. මීට අමතරව ගල්, උළු හා පිගන් මැටි කර්මාන්ත ද වේවැල් සහ මැණික් ඔබ්බවා තැනූ විසිතුරු නිර්මාණ ද ඇස්ටෙක් නිර්මාණ අතර වෙයි. අධිරාජ්‍යයන්ගේ හා රදල පෙළපතේ ප‍්‍රභූවරුන්ගේ ඇඳුම් වර්ණවත් කුරුලූ පිහාටුවලින් අලංකාර කර තිබිණි.


............................................................................................................................... 

පුරාණ ලෝකයේ දක්ෂතම වෙළඳ නාවිකයන්වූ ෆීනීෂියානුවන්

පුරාණ ලෝකයේ නාවික හා වෙළඳ කටයුතු අතින් දක්ෂතමයන් ලෙස සැලකෙන්නේ ඔවුන්ය. සුළං බලය යොදා ගෙන තරු රටා අනුව මඟ සොයා ගනිමින් මහා සාගරය තරණය කළ ඔවුන් අති දක්ෂ නාවිකයෝ වූහ. අද ලෝකයේ වඩාත් ප‍්‍රචලිත භාෂාවක් වූ ඉංග‍්‍රීසි භාෂාවට හෝඩිය ලැබුණේ ඔවුන්ගෙනි. ඔවුන් අයත් වන්නේ වසර 4000කට පෙර පැවති ඉතා දියුණු ශිෂ්ටාචාරයකටය. ඔවුන් හැඳින්වෙන්නේ ෆීනීෂියානුවන් ලෙසයි. මේ ඔවුන්ගේ කතාවයි.




වෙළඳාමට හපන් ෆීනීෂියානුවෝ
පුරාණ ලෝකයේ දක්ෂතම වෙළඳ නාවිකයන් ලෙස සැළකෙන්නේ ෆීනීෂියානුවන්ය. ඔවුන් ජීවත් වූයේ නැගෙනහිර මධ්‍යධරණී වෙරළ තීරයේය. අද මෙම ප‍්‍රදේශ අයත් වන්නේ සිරියාව, ලෙබනනය සහ ඊශ‍්‍රායලයටය. කි.පූ. 1500 දී පමණ ෆීනීෂියානුවන් ඔවුන්ගේ මනරම් නගර ඉදිකර ගත් අතර ඔවුන්ගේ ප‍්‍රධාන වෙළඳ වරායන් පිහිටුවා ගත්තේ ටයර් සහ සයිඩොන් යන නගරවලයි. ෆීනීසියානු වෙළඳ ගනුදෙනු දියුණුවෙන් දියුණුවට පත්වීමට මේ වෙළඳ වරායන් බෙහෙවින් උපකාරී විය.

ෆීනීෂියානුවන්ගේ වටිනා වෙළඳ භාණ්ඩ
මධ්‍යධරණිය පුරා වෙළඳ ගනුදෙනු කළ ෆීනීෂියානුවන්ගේ වෙළඳ හුවමාරු භාණ්ඩ ලෙස සැළකෙන්නේ වීදුරු බඩු, දැව, දේවදාර තෙල්, දම්පාටින් වර්ණ ගැන්වූ ඇඳුම් සහ ඇත් දළය. ඔවුහු බටහිර දෙසින් බි‍්‍රතාන්‍යය දක්වාත් අපි‍්‍රකානු වෙරළ තීරය දක්වාත් යාත‍්‍රා කළහ. යළි ආපහු පැමිණෙද්දී ඔවුහු රිදී, තඹ සහ ටින් රැගෙන ආහ. දේවදාර දැව සහ තෙල් ඔවුන්ගේ වටිනාම භාණ්ඩ අතර තිබිණි. ජෙරුසෙලමේ සොලමන් රජ්ජුරුවන්ගේ දේවාලය ඉදිකිරීමට යොදා ගැනුනේ දේවදාර දැවයි. මේ දැව සපයා ඇත්තේ ටයර් නුවරින් බව ඉතිහාසයේ සඳහන් වේ. ටයර් නුවරදී නිෂ්පාදනය කළ ඇඳුම් වර්ණ ගැන්වූ දම් මිශ‍්‍ර රතු පැහැයෙන් යුත් වර්ණකයක් නිසා ෆීනීෂියානුවන් රෙදිපිළි බෙහෙවින් ජනප‍්‍රිය විය. මෙම වර්ණකය නිපදවීමට යොදා ගැනුනේ බෙලිකටු විශේෂයකි. ගී‍්‍රක ජාතිකයන් ෆීනීෂියානුවන් හැඳින්වූයේ ‘පොයිනෝස්’ යනුවෙනි.

අපි‍්‍රකාවේත් වෙළඳ ජනපදයක්
සමහර ෆීනීෂියානු වෙළෙන්දෝ වෙළඳ හුවමාරු සඳහා ජනපද බිහි කර ගත්හ. එවැනි ජනපද එක්වී බිහිවූ එක් විශාල නගරයක් වූයේ අපි‍්‍රකාවේ උතුරුදිග වෙරළ තීරය අසළ පිහිටි කාර්තේජ් නගරයයි. මේ නගරය පිහිටි ප‍්‍රදේශය අද අයිති වන්නේ ටියුනීසියාවටය. මෙම නගරය ඉදි කරනු ලැබුවේ කි‍්‍ර.පූ. 814 දීය. ෆීනීසියාව ආක‍්‍රමණවලට ලක්වූ පසුවත් බටහිර මධ්‍යධරණී කලාපයේ ආධිපත්‍යය පතුරුවා ගෙන සිටීමට මෙම නගරයට හැකිවිණි.


දක්ෂ නාවිකයෝ
ෆීනීෂියානුවන්ගේ සාර්ථකත්වයට හේතු වූයේ මුහුදු ගමන් පිළිබඳ ඔවුන් තුළ පැවති නිපුණත්වයයි. ඔවුන්ට දේවදාර දැවවලින් නිපදවූ ශත්කිමත් හා ඉතා අනර්ඝ නැව් තිබිණි. වේගයෙන් යා හැකි දිග පළල හා ඉතා හොඳ ශක්ති සම්පන්න මෙම නැව් වෙළඳ භාණ්ඩ ප‍්‍රවාහනයට මෙන්ම යුද නැව් ලෙසත් භාවිතයට ගැනින. ඔවුන් විසින් ප‍්‍රවාහනය කරද්දී බඩු බාහිරාදිය තැන්පත් කරන ලද්දේ විශාල මැටි භාජනවලය. ඒවා ඉතා ආරක්ෂිතව නැව් තට්ටුවට පහළින් ගබඩා කෙරිණි. පළල් නෞකා තලයකින් නිර්මාණය කෙරුණු මෙම නැව්වලට ඉතා වේගයෙන් ගමන් කර හැකිවිණි. නිවැරදි සිතියම් නොතිබුණත් ෆීනීෂියානුවන් දක්ෂ නාවිකයින් වූයේ ගමන් මඟ සොයා ගැනීමට තරු රටා හා ගමන් කිරීමට සුළං බලය භාවිතා කළ නිසාය.

පාරාවෝගේ ගවේෂණය
කි‍්‍ර.පූ. 600 දී දෙවැනි නෙකෝ නම් මිසර පාරාවන්ට අප‍්‍රිකාව වටා යාත‍්‍රාකරමින් ගවේෂණයක් කිරීමට අවශ්‍ය විය. ඒ සඳහා ඔහු කුලියට ගත්තේ ෆීනීෂියානු නාවිකයන් පිරිසක් හා කාතේජියානු නගරයේ අද්මිරාල්වරයෙකි. මේ ගවේෂණ චාරිකාව නිමා කිරීමට වසර 3 ක කාලයක් ගත වූ බව වාර්තා වේ.

ෆීනීෂියානු නැව්
ෆීනීෂියානුවන්ගේ වෙළඳ නැව්වලට යොදා ගැනුණේ විශාල සමචතුරස‍්‍රාකාර රුවල්ය. නැව් යාත‍්‍රා කිරීමට ප‍්‍රධාන වශයෙන් යොදා ගැනුනේ සුළං බලයයි. ඊට අමතරව හබල් යෙදු මිනිස් බලයත් මේ නැව්වලට යොදා ගැනුණි. ඒ නැව්වල ප‍්‍රධාන කුඹ ගස මුදුනේ නැවියකුට රැුඳී සිට ඈත බලන්නට විපරම් කුටියක් ද තනා තිබුණි. ෆීනීෂියානුවන්ගේ නාවික වෙළඳ ගනුදෙනු කොතරම් බහුල ව සිදු වූයේ ද කිවහොත් කාතේජ් නුවර වරායන් දෙකක් තිබිණි. එයින් එකක් වෙළඳ කටයුතුවලට යොදා ගනු ලැබූ අතර අනෙක නාවික හමුදා කටයුතුවලට යොදා ගැනිණ.

දියමන්ති මෙන් වටින වීදුරු 
පුරාණ ලෝකයේ ඉතා වටිනාම හා ඉහළම මිලක් ගත් භාණ්ඩ ලෙස ෆීනීෂියානුවන් නිපදවූ ඉතා අලංකාර වීදුරු බඳුන් හැඳින්විය හැකිය. වීදුරු නිර්මාණ කලාව මුලින් ම භාවිතා කළේ මිසර ජාතිකයින් විසින් වුවත් ෆීනිෂියානුවන් වීදුරු කලාවට අත ගැසීමත් සමඟ වඩාත් අලංකාර නිර්මාණ බිහිවිණ. මේවාට දියමන්ති හා සමාන අයුරින් වටිනාකමක් ලැබිණි.


වීදුරුවලින් අලංකාර නිර්මාණ
වැලි හා තිරිවානවලින් පිරිසිදු වීදුරු නිර්මාණය කිරීමට හා ඒවා යොදා ගනිමින් අපූරු වෙස් මුහුණු නිර්මාණය කිරීමට ද ෆීනීෂියානුවෝ දක්ෂයෝ වූහ. ඔවුන් ඒවා වර්ණ ගැන්වීම සඳහා වර්ණක යොදා ගැනිණ.

ෆීනීෂියානුවන්ගේ අකාරාදිය
කි‍්‍ර.පූ. 1000 දී ෆීනීෂියානුවන් සරල අකාරාදියක් භාවිතා කළහ. මෙම අකාරාදියට අක්ෂර 22 ක් තිබිණි. මෙම අකාරාදියට ග‍්‍රීකවරුන්ගෙන් ප‍්‍රාණාක්ෂර එකතු විය. ෆීනීෂියානුවන් හා ග‍්‍රීකවරුන් අතර සම්බන්ධකම් ඇතිවූයේ වෙළඳ ගනුදෙනුවලිනි. ග‍්‍රීකවරුන්ගේ අකාරාදිය පසුව රෝමවරුන් විසින් භාවිතා කිරීමට පටන් ගැණින. අප අද භාවිතා කරන ඉංගී‍්‍රසි අක්ෂරවල ආරම්භක අවධිය මෙය වේ.

අත්කම්වලටත් දක්ෂයෝ
ෆීනීෂියානුවෝ කුඹල් කර්මාන්තයටත් දක්ෂයෝ වූහ. මෙම ටෙරා කොටා හිස නිර්මාණය කර ඇත්තේ දෙවැනි ශතවර්ෂයේදීය. ෆීනීෂියානු අත්කම් නිර්මාණකරුවන් දක්ෂ කුඹල්කරුවන් වූවාක් මෙන්ම ඇත්දත් කැටයමට, ලී කැටයමට මෙන් ම ලෝහ කර්මාන්තයටත් දක්ෂයෝ වූහ. එදිනෙදා ජීවිතයට අවශ්‍ය බඩු බාහිරාදිය මෙන්ම වෙළඳාමට ද ඔවුහූ මෙම භාණ්ඩ නිර්මාණය කළහ.

ෆීනීෂියානුවෝ
කි‍්‍ර.පූ. 1200 දී - ෆීනීෂියානුවන්ගේ බලය වර්ධනය වීම.
කි‍්‍ර.පූ. 1140 දී - උටෙලා නම් ෆීනීෂියා ජනපදය උතුරු අප‍්‍රිකාවේ පිහිටවීම.
කි‍්‍ර.පූ. 1000 දී - ෆීනීෂියානු අකාරාදිය මනාව සැකසීම.
කි‍්‍ර.පූ. 814 දී - උතුරු අපි‍්‍රකාවේ කාතේජ් නගරයක් බිහිවීම.
කි‍්‍ර.පූ. 729 දී - පස්වැනි ෂල්මෙන්සර් නම් ඇසිරියානු රජු ෆීනීෂියාව ආක‍්‍රමණය.
කි‍්‍ර.පූ. 727 දී - ෆීනීෂියානුවන්ගේ අකාරාදිය ග‍්‍රීකවරුන් විසින් පරිහරණය කිරීම ඇරඹීම.
කි‍්‍ර.පූ. 332 දී - මහා ඇලෙක්සෙන්ඩර් රජු ෆීනීෂියාව ආක‍්‍රමණය.
කි‍්‍ර.පූ. 146 දී - පියුනික් යුද්ධය නිමාවීමත් සමඟ රෝමන්වරු කාතේජ්වරු පැරදවීම.


............................................................................................................................... 

සුදුස්සාට හා දක්ෂයාට තැන දුන් හොවැංහෝ ශිෂ්ටාචාරය

චීන ඉතිහාසය ආරම්භය නිශ්චිතව කිය නොහැකිය. පුරා විද්‍යා කැණීම් අනුව චීනයේ ප‍්‍රාග් ඓතිහාසික යුගය කි‍්‍ර.පූ. 600,000 පමණ හෝ කි‍්‍ර.පූ. 200,000 පමණ හෝ ආරම්භ වන්නට ඇතැයි සැලකෙයි. නයිල්, යුප‍්‍රටීස් ටයිගී‍්‍රස් ගංගා නිම්නවල ශිෂ්ටාචාර බිහිවුණා සේම චීන ශිෂ්ටාචාරය බිහිවූයේ හොවැංහෝ ගංගා නිම්නයේයි. හොවැංහෝ ගඟ අද අප හඳුන්වන්නේ කහ ගංගාව කියලයි. හොවැංහෝ හෙවත් චීන ශිෂ්ටාචාරය ගැන දැනගන්න පුළුවන් වන්නේ ජනප‍්‍රවාද හා පුරාවස්තුවලිනුයි.



ජනාවාස බිහිවූ අයුරු
හොවැංහෝ හෙවත් කහ ගඟ වාර්ෂිකව පිටාර ගලා යද්දී ගංගා නිම්නයේ පස සරු වෙන්න පටන් ගත්තා. ජනතාව මෙම ප‍්‍රදේශවල පදිංචි වීමෙන් පසු ගොවිතැන් කටයුතු හා සත්ත්ව පාලන කටයුතු ඇරඹුණා. චීන ශිෂ්ටාචාරය බිහිවීමට අනෙක් කිසිදු ශිෂ්ටාචාරයක ආභාසයක් හෝ බලපෑමක් ලැබී තිබුණේ නැහැ. එහි හුදෙකලා වූ ස්වාධීන වර්ධනයක් දැකිය හැකි වුණා. ඒ නිසාම එහි වෙනස්වීම් ඇතිවුණේ සෙමින්. කි‍්‍ර.පූ. 1800 වන විට ගංගා නිම්නයේ ගම්මාන බිහිවී තිබූ බවට සාක්ෂි හමුවී තියෙනවා. ඒවායේ ගැමියන් ගොවිතැන් කටයුතු මෙන්ම එදිනෙදා කටයුතු සඳහාද ජලය ලබා ගත්තේ කහ ගංගාවෙනුයි. ගඟ දිගේ ඔරු හා පාරුවලින් ප‍්‍රවාහන සේවාවන් පවා පැවති බව කියැවෙනවා. ධීවර කර්මාන්තයත් ඔවුන් අතර හුඟක් ප‍්‍රචලිතව පැවති බව සඳහන් වෙනවා.

චීනයේ ආදීවාසීන්
මෙම ඉපැරණි යුගයේ ජීවත් වූ චීන මිනිසුන්ගෙන් ආදීම මුතුන්මිත්තන් වන්නේ කයි යුවාන්, ලැන් තියෙන් සහ පීකිං ආදී නම්වලින් හැඳින්වෙන වානර-මානවයින්ය. මොවුන් ගැන සාක්ෂි සොයාගෙන තියෙන්නේ චීනයේ යුනාන්, හෝනාන්, හෝපෙයි යන පළාත්වලිනුයි. මේ අතුරින් වඩාත් ප‍්‍රසිද්ධ පීකිං මානවයායි. පීකිං මානවයා ජීවත් වී ඇත්තේ කි‍්‍ර.පූ. 400,000 ක් තරම් ඈත කාලයේ බව පැවැසෙනවා. පුරාවිද්‍යා කැණීම්වලට අනුව චීනයේ නව ශිලා යුගය ගැන තොරතුරු ලැබී තියෙන්නේ හෝනාන් පළාතේ යංෂා ඕ, ෂංදුන්, ලූංෂන් සහ ජියංසු යන ප‍්‍රදේශවල කළ කැණීම්වලිනුයි. නව ශිලා යුගයේ ජීවත් වූ චීන මිනිසා දඩයම් කිරීමේ සිට ක‍්‍රමයෙන් සතුන් ඇති කිරීමටත්, ගොවිතැන් කිරීමටත් පටන් ගත් බව මෙම සාක්ෂිවලින් හෙළිදරව් වී තියෙනවා.

චීන සාහිත්‍යය
චීන සාහිත්‍ය සම්ප‍්‍රදාය ආරම්භ වුණේ කි‍්‍ර.පූ. 3000 දී පමණ උතුරු දිග ප‍්‍රදේශවල ගංගා නිම්න ආශි‍්‍රතව ගොවිතැන මුල් කර ගනිමින් බිහි වූ ගම්මාන සමඟ බව හෙළි වී තියෙනවා. ලොව අනෙකුත් ශිෂ්ටාචාරයන්හි ඉතිහාසය දෙස බලද්දී මෙම කාලය මෙසපොටේමියානු, නයිල් හා ඉන්දු නිම්න ආදී පුරාණ ශිෂ්ටාචාරයන්හි ආරම්භක කාලය සමඟ දළ වශයෙන් සමකාලීන වෙනවා. පුරාවිද්‍යා කැණීම්වලින් ලැබුණු තොරතුරු අනුව මෙම කාලය අයිති වෙන්නේ නව ශිලා යුගයටයි. මෙහි මුල් ම ගොවීන් ජීවත් වුණේ කටුමැටි ගෙවල්වලයි. මුල් කාලයේ පටන්ම වර්ණාලේප කළ මැටි බදුන් නිර්මාණය කිරීමේ හැකියාව ඔවුන්ට තිබුණා. ඔවුන්ගේ ආගම වුණේ ඔවුන්ගේ මුතුන්මිත්තන් වන්දනා කිරීමයි. සතුන්ගේ අස්ථි යොද ගනිමින් අනාගතය හෙළි කිරීමේ හැකියාවක් ද ඔවුන්ගේ පූජකයින්ට තිබුණා.


ආදීතම චීන පාලකයින්
චීනයේ ආදී පාලකයින් හඳුන්වන්නේ ප‍්‍රඥාවන්ත රජුන් (Sage Kings) කියලයි. එවැනි රජුන් තුන් දෙනෙකු සහ අධිරාජයන් පස් දෙනෙකු සිටි බව ඉතිහාසයේ සඳහන් වෙනෙවා. මෙම රජවරුන් සියලූම දෙනා ඉතා බුද්ධිමත් හා ධාර්මිෂ්ට පාලකයින් බවත් පැවැසෙනවා. ඔවුන් මහලූ වියට පත්වූ පසු ස්වකීය සිංහාසනයට තමන් ඉතාම සුදුසු යැයි සැලකූ පුද්ගලයාට පවරා විශ‍්‍රාම ගියා. ය ඕ සහ ෂුන් යන රජුන් දෙදෙනා ම මහලූවියේ දී විශ‍්‍රාම ගියේ ඔවුන්ගේ දක්ෂතම අමාත්‍යවරුන්ට රජකම භාරදීමෙන් පසුවයි. පියාගෙන් පුතාට රජකම උරුම වීම අතීත චීන රජ පෙළපත්වල නොතිබිණි. මේ කාලයේදී සතුන් හීලෑ කිරීම, මසුන් ඇල්ලීම, කෘෂිකර්මය, වෙළඳාම පැවැතුණා. මෙකල පැවති ගෝත‍්‍රික රාජ්‍ය අතර එක්සත් බවක් ද පැවති බව සඳහන්. චීන සංස්කෘතික වර්ධනයේ මුල්ම අවධිය ලෙස සැලකෙන්නේ කි‍්‍ර.පූ. තුන්වන සහස‍්‍රයයි. මේ කාලයේ විසූ පාලකයින්ගෙන් අවසාන පාලකයා වූ ‘යූ’ගෙන් පසු චීනයේ රජ පෙළපත ආරම්භ වෙනවා. පාලන කටයුතු ඇරඹූ මුල්ම චීන රජ පෙළපත වන්නේ ෂැංග් රජ පෙළපතයි. ඔවුන් කි‍්‍ර.පූ. 1400 දී පටන් උතුරු චීන නිම්නයේ පාලන කටයුතු සිදුකළා. ෂැංග් අධිරාජයාගේ අගනුවර ලෙස සැලකෙන්නේ අන්යංග් නම් නගරයයි. වෙළඳුන්ගෙන් සහ අත්කම් නිර්මාණකරුවන්ගෙන් සැදුම්ලත් කුඩා නගර ඒ වටා ඉදිවුණා. දක්ෂ ලෝකඩ නිර්මාණකරුවන් ද මේ නගරවල ජීවත් වුණා. මොවුන්ගෙන් වැඩි දෙනාට ලිවීමේ හැකියාව තිබූ බව තහවුරු වෙලා තියෙනවා.

නගරයේ ආරක්ෂාවට මුල්තැන
අන්යංග් නගරයේ ගොඩනැගිලි ඉදිකරන්න කලින් පිරිමින් සහ ගැහැනුන් බිලි දී ඔවුන්ගේ මළ සිරුරු මත ගොඩනැගිලි ඉදි කිරීම සිදු කර ඇතැයි පැවැසෙනවා. පුරාවිද්‍යා කැණීම් කරද්දී පුරා විද්‍යාඥයන්ට මෙසේ බිල්ලට දුන් ඇටසැකිලි 852 ක් හමුවී තිබෙනවා. ඒ නගරයේ ජීවත්වූවන් අනාගත පරපුරේ ආරක්ෂාව පතා මෙසේ බිලි පූජා පවත්වා ඇත්තේ දෙවියන් වෙනුවෙන්. එක් ස්ථානයක සෙබළු සමූහයක් ද, අශ්වාරෝහකයන් ද සමග අසුන් බැඳි කරත්ත පහක් ද මිහිදන් කර තිබියදී හමුවී තියෙනවා.

මහා දාර්ශනිකයා : කොන්ෆියුසියස්
බටහිරින් ආ චෞ ආක‍්‍රමණිකයෝ ෂැංග් අධිරාජ්‍යය පෙරළා දමා අවුරුදු 800 කට ආසන්න කාලයක් පුරා චීනය පාලනය කළා. මේ කාලයේ දාර්ශනිකයන් ඔවුන්ගේ දර්ශනය පැහැදිලි කරමින් දේශනා පවත්වමින් තැනින් තැන උසස් වංශිකයන්ගේ සභාවලට ගියා. මෙම දාර්ශනිකයන් අතර ශ්‍රේෂ්ඨතමයා ලෙස සැලකෙන්නේ කුං ෆූට්සූ හෙවත් කොන්ෆියුසියස්ය. බුදුරජාණන්වහන්සේගේ සමකාලීනයෙකු වූ ඔහු වාසය කළේ කි‍්‍ර.පූ. 550 ත් 480 ත් අතර යැයි පැවැසෙනවා. යහපත් දේ කිරීමට සෑම මිනිසෙකුට ම ශක්තියක් ඇති බවත් පාලක පක්ෂයට ඔවුන්ගේ බලය දෙව්ලොවින් ලැබුණු දෙයක් බැවින් ඔවුන්ගේ රටවැසියන්ගෙන් යහපත් දේ වඩාත් හොඳින් ලබා ගැනීම කළ යුතු බවත් ඔවුන් ජනතාවගේ මව්වරුන් හා පියවරුන් ලෙස සිතිය යුතුයි. නීතිය, සත්‍යවාදී බව හා මාපියන්ට ගරු කිරීම රටේ පවත්වාගෙන යාම ඔවුන්ගේ වගකීමයි. තරාතිරම කුමක් වුනත් සුදුස්සාට හා දක්ෂයාට තැන දිය යුතුයි යන්න ඔහුගේ දර්ශනය වුණා. එකල චීන නිලධාරීන් තෝරාගනු ලැබුවේ උසස් විභාගයකින් පසුවයි.


ආරක්ෂා වෙන්න ප‍්‍රාකාරයක්
කි‍්‍ර.පූ. 400 දී උසස් වාංශිකයින්ව පාලනය කර ගැනීමට නොහැකි තත්වයක් චෞ පාලකයන්ට උදා වුණා. ඒ නිසා කැරළි කෝලහාල හට ගත්තා. ඒවා අවසන් වූයේ ෂී හුවාං ටී රාජත්වයට පැමිණීමත් සමඟයි. පසුව චීනය යන නමට හේතු වූ චිං අධිරාජ්‍යය පිහිටුවන ලද්දේ මෙම අධිරාජයා විසිනුයි. එවකට සිටි කුමාරවරුන්ගේ සිත් දිනාගත් ඔහු උතුරු දේශසීමාව ආරක්ෂා කිරීම පිණිස පැවති පවුරු කොටස් එක්කොට විශාල ප‍්‍රාකාරයක් ඉදිකෙරෙව්වා. චීන මහා ප‍්‍රාකාරය වන්නේ එයයි.


............................................................................................................................... 

ඉන්දු ගඟ ආශි‍්‍රතව බිහිවූ ඉන්දු නිම්න ශිෂ්ටාචාරය


මීට වසර පන්දහසකට පමණ පෙර ආසියාවේ පැවති ලොව පැරණිතම ශිෂ්ටාචාරයක් පිළිබඳ තොරතුරු බිඳක් මෙම ලිපියෙන් ඉදිරිපත් කරමු. මේ ශිෂ්ටාචාරය හැඳින්වෙන්නේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරය කියායි. මෙය ටිබෙට් දේශයේ සිට කාෂ්මීරය ඔස්සේ පාකිස්තානය හරහා අරාබි මුහුදට ගලන ඉන්දු ගඟ ආශි‍්‍රතව බිහි වූවකි.



කි‍්‍ර.පූ. 2700 සහ 1750 අතර කාලයේ සාර්ථක ලෙස දියුණුවෙන් දියුණුවට පත්වෙමින් පැවති මෙම ඉපැරණි ශිෂ්ටාචාරය ගොඩ නැඟුණේ මොහෙන්ජොදාරෝ සහ හරප්පා නම් නගර ආශ‍්‍රිතවයි. මෙම එක් නගරයක පමණක් ජනගහනය 40,000 ක් වූ බව සඳහන් ය. මෙම නගරවල ඉදිකර තිබූ මැටි ගඩොලින් තැනුණු සුවිසල් මැඳුරු හා ගොඩනැගිලිවලින් නගරයේ සශ‍්‍රීකත්වය මැනෙවින් පිළිබිඹු විණි. මේ තොරතුරු හෙළිකර ගැනීමට හැකි වී ඇත්තේ වර්තමාන පාකිස්තානයට අයත් ප‍්‍රදේශවලින් මතු කර ගත් මෙම නගරවල නටබුන්වලිනි. ඒ නටබුන්වලින් ලැබුණු පුරාවස්තු අද පාකිස්තානයේ කෞතුකාගාරවල දැක ගත හැකියි.


මෙසපොටේමියානු, සුමේරියානු හා මිසර වැනි ප‍්‍රාග් ඓතිහාසික ශිෂ්ටාචාර සමග සම තත්වයෙහිලා සැලකිය හැකි මෙම ඉන්දු නිම්න ශිෂ්ටාචාරය පිළිබඳව මුලින් ම හෙළි කර ගනු ලැබුවේ 1856 වර්ෂයේ දීය. සියවස් එක හමාරක් තිස්සේ කරන ලද සොයා ගැනීම් අනුව එම ශිෂ්ටාචාරයේ එදිනෙදා දිවි පැවැත්ම ගැන ද අපට යම් යම් කරුණු හෙළි කර ගත හැකි වී තිබේ. ඒ අනුව ඉන්දු නිම්න ශිෂ්ටාචාරයට අයත් වැසියන් සුමේරියානුවන් සමඟ වෙළඳ ගනුදෙනු කර තිබේ. මෙම ශිෂ්ටාචාරයට අයත් නටබුන් ඉන්දු නිම්නයෙන් පිටතට ප‍්‍රදේශවලින් ද සොයා ගෙන ඇති නිසා මෙම ශිෂ්ටාචාරය, ‘ඉන්දු නිම්න ශිෂ්ටාචාරය’ යනුවෙන් හඳුන්වනවාට වඩා ‘හරප්පා ශිෂ්ටාචාරය’ යනුවෙන් හැඳින්වීම වඩා උචිත යැයි පුරාවිද්‍යාඥයෝ කියති. ඉතා සාර්ථකව පැවති මෙම ශිෂ්ටාචාරය ක‍්‍රි.පූ. 1750 දී හිටිහැටියේ හදිසියේම හා අබිරහස් අයුරින් පරිහානියට පත්විණි. පුරාවිද්‍යාඥයන් හා ඉතිහාසඥයන් ප‍්‍රකාශ කරනුයේ ආක‍්‍රමණ හා ඉන්දු ගංගාවේ ගමන් මඟ වෙනස් වීම මීට හේතු සාධක වූ බවයි.

කි‍්‍ර.පූ. 2300 දී පමණ පාරාවෝ මිසරයේ රජකම් කරද්දී, මහා සෙරගොන් සුමර්හි රජකම් කරද්දී තවත් ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයක් ලෙස ඉන්දු ගංගාව ආශි‍්‍රත නිම්නයේ බිහිවීම ඇරඹුණි. ඉන්දු නිම්න ශිෂ්ටාචාරය කියා හැඳින්වෙන මේ ශිෂ්ටාචාරය බිහිවුණේද මෙසපොටේමියානු ශිෂ්ටාචාරය ආරම්භ වූ අයුරිනි. සාරවත් ගංගා නිම්නයේ ඇරඹුණු කෘෂිකාර්මීක කටයුතු දියුණුවෙන් දියුණුවට පත්වෙද්දී නගරවල ජීවිතයට අවශ්‍ය තරම් ආහාර ද්‍රව්‍ය නිපදවීමට හැකිවිණි. වෙළඳ කටයුතුවල කේන්ද්‍රස්ථානය බවට පත් වූයේ මේ නගර ය. වෙළඳ ගනුදෙනු මෙපොටේමියාව හරහා ඩිල්මන් (වර්තමානයේ බහරේනය) දක්වා පැවැතිණි.

මොහෙන්ජො-දාරෝ සහ හරප්පා
මේ වන විට ඉන්දු ගංගා නිම්නය ආශි‍්‍රතව පැවති ශ්‍රේෂ්ඨ නගර දෙකක පුරා විද්‍යා සාක්ෂි හමුවී තිබේ. ඒවා නම් මොහෙන්ජෝදාරෝ සහ හරප්පා යන නගරයි. මැටි ගඩොල්වලින් ඉදි කළ ගොඩනැගිලිවලට අමතරව නගරවල පුළුල්ව, ඉතා හොඳින් සැකසූ මංමාවත් දකින්න හැකිවිණි. මෙම මාර්ග නියමිත කොන්වලින් එකිනෙක හමුවන අයුරින් ඉදිකර තිබූ අතර නගරයේ කොටස් මෙම මාර්ගවලින් සමචතුරස‍්‍රාකාර කොටස්වලට වෙන් විණි.


නගර නිවාස වර්ග දෙකකින් නිර්මාණය කර තිබිණි. එයින් නිරූපණය වී ඇත්තේ සමාජ පංති දෙකකි. සමහර නිවාස විශාලයි. මනා නිමාවෙන් යුක්තයි. පිරිසිදුකම අතින් මෙම නිවාසවලට සමාන කළ හැකි වෙනත් නිවාස පැරණි ලොවේ නොතිබිණි. මේ නිවාස ධනවත් වෙළඳුන්ට අයත්ව තිබෙන්න ඇත. අනෙක් නිවාස මුඩුක්කු මෙනි. ඒවා වෙළඳසල් සහ වෙනත් රැකියා ස්ථානවලට යාබදව එකගොඬේ ඉදිකර තිබේ. මේ නිවාස අඳගොවීන්ට සහ අත්කම් නිර්මාණකරුවන්ගේ විය හැකියැයි අනුමාන කෙරේ.




බර අනුව සිදුවූ කිරුම් මිනුම්
බොහෝ පුරාණ ශිෂ්ටාචාරවල වැසියන් මෙන්ම ඉන්දු නිම්න වැසියන් ද බර අනුව මිනුම් පද්ධතියක් සකස් කරගෙන තිබිණි. මේ අනුව වෙළඳ කටයුතු පහසුවක් විණි. ඒ අනුව බඩු බාහිරාදියෙන් බදු අය කිරීම පහසුවක් විණි.

ශිලා ලේඛන සහ මුද්‍රා
මේ නගරවල පැරණි නටබුන් අතර තිබී පුරාවිද්‍යාඥයන් විසින් සොයා ගෙන ඇති ගල්පුවරුවල යම් යම් දේ කොටා තිබේ. ශිලා මුද්‍රා ලෙස හැඳින්වෙන ඒවායෙහි වෙනත් ඉපැරණි අක්ෂරවලට සමාන ලේඛන දක්නට ලැබේ. ඒවා ඉතා කෙටි වීම නිසා වෙනත් ශිලා ලේඛනවල හමු වී ඇති අක්ෂර මෙන් කියවීමට අසීරුය. ඒ කෙටි සංකේතවලින් කියවෙන්නේ කුමක්දැයි තවමත් හෙළි කර ගෙන නැත. මේ ශිෂ්ටාචාරයට අයත් වැසියන් මේ ශිලා මුද්‍රා භාවිත කළේ තම අයිතිය තහවුරු කිරීමටය. මේ සෑම ශිලා මුද්‍රාවකම සතකුගේ කුඩා අනුරුවක් සමග කෙටි සංකේතයක් කොටා තිබුණේය.

 
සත්ව රුවක් සහිත ශිලා මුද්‍රාවක්.



ඉන්දු වැසියන්ගේ ආගම්
ඉන්දු නිම්න වැසියන් ඇදහූ ආගම් ගැන දැනගන්න ලැබී ඇති විස්තර ඉතා අල්පය. කෙසේ වෙතත් ඔවුන් ජලයේ වැදගත්කම තේරුම් ගනිමින් ජලය දේවත්වයෙන් ලා සැළකීම සිදු කළ බව මොහෙන්ජෝදාරෝ නගරයේ ඉදි කළ ස්නාන ගොඩනැගිලිවලින් පෙනී යයි. මේ නිසා ඉන්දු නිම්න වැසියන් හින්දු ආගමට මුල් වූ පැරණි විශ්වාසයන් ඇතිව සිටි බව හෙළිවන්නේ යැයි කීමට බොහෝ විද්වත්තු පෙලඹෙති. හින්දු දේවරූපවලට සමාන දෙවි දේවතාවුන් නියෝජනය කරන පිළිම ගණනාවක් ද පුරාවිද්‍යා කැණීම්වලින් සොයාගෙන ඇත.

> 
ශිව දෙවියන්ගේ යැයි සලකෙන මුද්‍රාවක්.


ඉන්දු නිම්න වැසියන්ගේ නිර්මාණ
ඉන්දු නිම්න ශිෂ්ටාචාරයට අයත් වැසියෝ මැටි කර්මාන්තයෙහි නිපුණයන් වූහ. එපමණක් නොව අති දක්ෂ කම්මල්කරුවො ද් වූහ. ඉතා අලංකාර ලෝහ සහ මැටි පිළිම, රන් ආභරණ ඔවුන් නිපද වූහ. ඔවුහු තඹ සහ ටින් ලෝහ මිශ‍්‍ර කරමින් ලෝකඩ නිර්මාණය කර ගැනීමට ඉගෙන ගෙන සිටියහ.

 
ඉන්දු නිම්න වැසියන් විසින් නිර්මිත රජ හෝ පුජක වරයකුගේ පිළිරුවක්
 
නර්තනයේ යෙදෙන ස්ත්‍රී රූපයක්.



ද ඒන්ෂන්ට් වර්ල්ඞ් සහ
ඞී.කේ. ෆැමිලි එන්සයික්ලොපීඩියා ඇසුරින්


............................................................................................................................... 

මිනෝවානු සහ මයිසේනියානුවන්ගේ කතාව


යුරෝපයේ බිහිවූ ශිෂ්ටාචාර අතුරින් ප‍්‍රථම ප‍්‍රධාන ශිෂ්ටාචාරය ලෙස සැලකෙන්නේ මිනෝවානු ශිෂ්ටාචාරයයි. මිනෝවානු ශිෂ්ටාචාරයේ ආරම්භය සිදු වූයේ මධ්‍යධරණී මුහුදේ පිහිටි කේ‍්‍රට් දූපතෙනි. මෙය මිනෝවානු ශිෂ්ටාචාරය යනුවෙන් නම් කරනු ලැබුවේ ශ්‍රේෂ්ඨ මිනෝස් රජු නිසයි. මිනෝවානු ශිෂ්ටාචාරයේ ස්වර්ණමය යුගය ලෙස සැලකෙන්නේ කි‍්‍ර.පූ. 2000 න් පසු කාලයයි. එහෙත් කි‍්‍ර.පූ. 1450 දී මයිසේනියානුවන්ගේ ආක‍්‍රමණයක් සමඟ මිනෝවානු ශිෂ්ටාචාරය අවසන් විය. මයිසේනියානුයන්ගේ මුල් බිම වූයේ දකුණු රුසියාවයි. නමුත් ඔවුහු යුරෝපය හා බෝල්කන් ප‍්‍රදේශය හරහා ගී‍්‍රසියට පැමිණ එහි පදිංචි වූහ. මේ මිනෝවානු සහ මයිසේනියානුවන්ගේ කතාවයි.



මිනෝවානුවෝ
යුරෝපයේ බිහිවූ ශිෂ්ටාචාර අතුරින් ප‍්‍රථම ප‍්‍රධාන ශිෂ්ටාචාරය ලෙස සැලකෙන්නේ මිනෝවානු ශිෂ්ටාචාරයයි. මිනෝවානු ශිෂ්ටාචාරයේ ආරම්භය සිදු වූයේ මධ්‍යධරණී මුහුදේ පිහිටි කේ‍්‍රට් දූපතෙනි. මෙය මිනොවානු ශිෂ්ටාචාරය යනුවෙන් නම් කරනු ලැබුවේ ශ්‍රේෂ්ඨ මිනෝස් රජු නිසයි. මිනෝවානු ශිෂ්ටාචාරයේ ස්වර්ණමය යුගය ලෙස සැලකෙන්නේ කි‍්‍ර.පූ. 2000 න් පසු කාලයයි.


මිනෝවානුවන්ගේ වෙළඳ කටයුතු
කේ‍්‍රට් දූපතේ විසූ මිනෝවානු වැසියන් මනා ලෙස සංවිධානය වූ පිරිසකි. ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් එකක් විය. මිනෝවානුවෝ ගොවිතැනට දක්ෂයෝ වූහ. ඔවුහු තිරිඟු, බාර්ලි, මිදි සහ ඔලිව් වගා කළහ. මිනෝවානු වෙළෙන්දෝ කුඩා නැව්වලින් මධ්‍යධරණී මුහුද හරහා යාත‍්‍රා කරමින් වයින්, ධාන්‍ය, ඔලිව් තෙල් ආදී වටිනා නිෂ්පාදන වෙනත් බඩුවලට හුවමාරු කළහ. මෙම භාණ්ඩ අතුරින් ප‍්‍රධාන වූයේ දුම්මල, ඇත්දත් සහ අනර්ඝ ලෝහ වර්ගයි.

මිනෝවානු මහා මාලිගා
සෑම විශාල මිනෝවානු නගරයක ම දස දහස් ගණනකට හොඳින් ඉඩකඩ තිබූ ඉතා අලංකාර තේජවන්ත මාළිගා ඉදිකෙරිණි. මෙම මාළිගා නිවහන වූයේ රජ පවුල්වල අයට පමණක් ම නොවේ. මෙම මාළිගා වෙළඳ භාණ්ඩ හුවමාරු ස්ථාන බවට ද පත් විණි. පිටරට පැටවීමට මෙම මාළිගාවල භාණ්ඩ ගබඩා කර තිබිණි. දේවාල සහ වැඩපොළවල්ද මෙම මාළිගාවල අංග විය. එමෙන් ම නගර බලධාරීන් පදිංචි ව සිටියේ ද මේ මාළිගාවල ඔවුන්ට වෙන්වූ කාමරවලයි. කි‍්‍ර.පූ. 1450 වන විට මෙම අනර්ග මාළිගා බොහොමයක් විනාශ වී ගියේය. ගිනිකඳු පිපිරීම් හා භූමිකම්පා ඊට හේතු වන්නට ඇතැයි පුරා විද්‍යාඥයෝ පවසති. ඒ හැරුණුවිට මාලිගා විනාශ වීමට ප‍්‍රධානතම හේතුව වන්නට ඇත්තේ මයිසේනියානුවන් කේ‍්‍රට් දූපතට පැමිණ කළ ආක‍්‍රමණයයි.




නෝසස් මාළිගාව
මිනෝවානු මාළිගා අතර විශාල ම මාළිගාව ලෙස සැලකෙන්නේ නෝසස් මාළිගයයි. ආගමීක චාරිත‍්‍ර වාරිත‍්‍ර සිදුකරනු ලැබුවේ මෙම නෝසස් මාළිගයේ මැද මිදුලේය. නෝසස් මාළිගය කාමර 1,300 කින් සමන්විත විය. රාජකීය පවුල්වලට වෙන්වූ කාමරවල බිත්ති බිතු සිතුවම්වලින් අලංකාර කර තිබිණි. මිනෝවානු වැසියන්ගේ ජීවන රටාවන් මෙම චිත‍්‍රවලින් පිළිබිඹු විණි. නටබුන් වී ගිය නෝසස් මාළිගය සොයා ගැනුණේ 1894 වසරේ දී ය. ඒ ශ‍්‍රීමත් ආතර් එවන්ස් විසිනි.



දක්ෂ කුඹල් කර්මාන්තකරුවෝ
මිනෝවානුවෝ දක්ෂ කුඹල් කර්මාන්තකරුවන් ද වූහ. ඔවුහු පුද්ගලයෙකුගේ ප‍්‍රමාණයට උස විශාල මැටි බරණි නිර්මාණය කළහ. මේවා භාවිතා කළේ තෙල්, ධාන්‍ය සහ වයින් ගබඩා කිරීමටය. මේ බරණි හැඳින්වෙන්නේ ‘පිතෝයි’ යනුවෙනි. නටඹුන් වී ගිය නෝසස් මාළිගයේ සිදු කළ කැණීම්වලදී මෙම බරණි හමුවිණි.



වෘෂභ හිසක් ඇති ‘මින්ටෝර්’
මින්ටොර් යනුවෙන් හැඳින්වෙන්නේ වෘෂභ හිසක් ඇති ග‍්‍රීක ප‍්‍රවාදවල සඳහන් මෘග මානවයෙකි. මේ මෘග මානවයා ජීවත් වූ බව පැවසෙන්නේ කේ‍්‍රට් දූපතේ පිහිටි නෝසස් මාළිගය යට ඉදිකර තිබූ වංකගිරියකය එසේත් නැතිනම් වටාරමකය. වංකගිරියක් හෝ වටාරමක් යනුවෙන් හැඳින්වෙන්නේ සංකීර්ණ හා අවුල් වූ මාර්ග ජාලයකි. මෙම නපුරු මෘගයා මරා දැමුවේ තෙසියස් නම් ඇතන්ස් කුමරා බව ප‍්‍රවාදවල සඳහන් වේ. ප‍්‍රවාදයක් වුණත් මෙම කතාවේ සත්‍යයක් ඇත. මිනෝවානු සංස්කෘතියේ වැදගත් මෙන්ම ශුද්ධ වූ සතෙකු ලෙස ගවයා සැලකේ. ආගමීක සැණකෙළිවලදී රජ්ජුරුවෝ ගව හිසක් සහිත වෙස් මුහුණක් පැලඳගෙන සිටි බවට සාක්ෂි ලැබී තිබේ.

මයිසේනියානුවෝ
කි‍්‍ර.පූ. 1600 සිට 1100 දක්වා ග‍්‍රීසියේ ප‍්‍රධාන භූමියේ ආධිපත්‍යය පැතිරවූයේ මයිසේනියානුවනුය. ඔවුන් ජීවත් වුණේ වෙන් වෙන් වූ කුඩා රාජ්‍යවලය. ඔවුන්ගේ භාෂාව හා ආගමීක විශ්වාසයන් එකම විය. ඔවුන් මයිසේනියානුවන් ලෙස නම් කර ඇත්තේ ඔවුන්ගේ ‘මයිසේනියා’ නම් මහා නගරය නිසාය. මයිසේනියානු සංස්කෘතියේ සුලමුල සොයා ගැනීමට හැකිවූයේ මෙහි දීය.



කන්දේ හැදූ මාළිගා: ඇක්‍රොපොලිස්
මයිසේනියානුවන් ඔවුන්ගේ මාළිගා ඉදිකරනු ලැබුවේ කඳු ගැට මුදුන්වලය. ඒවා වටා යෝධ ශක්තිමත් ගල් ප‍්‍රාකාර ඉදිකෙරිණි. මේ ආකාරයෙන් නිර්මාණය කළ නගර හැඳින්වෙන්නේ ඇක්‍රොපොලිස් යනුවෙනි. ගී‍්‍රක බසින් එහි තේරුම ‘උසින් පිහිටි නගරය’ යන්නයි. උසින් පිහිටීමත් ශක්තිමත් ප‍්‍රාකාරත් නිසා ආක‍්‍රමණවලින් බේරීමට පහසුවක් විණි.


මයිසේනියානුව ජන ජීවිතය
මයිසේනියානු සංස්කෘතිය පදනම් වී තිබුණේ ගොවිතැන හා වෙළඳාම පාදක කර ගනිමිනි. රෝඞ්ස් හා සයිප‍්‍රස් දූපත්වල ද මයිසේනියානු ජනපද බිහිවිණි. ඔවුහු නිර්භීත රණශූරයින් වූහ. මයිසේනියානු රජුන්ගේ හා රණවිරුවන්ගේ සොහොන් ගෙවල්වලින් හමුවූ සන්නාහ සහ ආයුධ මීට හොඳ නිදසුනක් බව පුරා විද්‍යාඥයෝ පෙන්වා දෙති.

1876 දී කළ අපූරු සොයා ගැනීම්
1876 වසරේදී ජර්මානු පුරා විද්‍යාඥ හෙයින්රිච් ෂිලයිමාන් නටඹුන් වූ මයිසේනියා නගරයට ඔබ්බෙන් නගරය වටා ඉදි කළ මහා ප‍්‍රාකාරය අසළ පිහිටි වළල්ලක ආකාරයෙන් වූ ගල් කුලූනු මැද කළ කැණීම්වලදී අපූරු දෙයක් සොයා ගැනිණ. ඔහුට හමුවුණේ පතල් විවරයකි. එය සොහොන් ගෙයක් වූ අතර එහි මයිසෝනියානු රාජකීය පවුලේ 16 දෙනෙකුගේ සිරුරු මිහිදන් කර තිබිණි. මෙම සිරුරු 16 න් පස් දෙනෙකු මුහුණු ආවරණය කර තිබුණේ රත්තරනින් තැනූ අවමංගල වෙස් මුහුණුවලිනි. මිල කළ නොහැකි ඉතා වටිනා රත්තරන් ආභරණ හා භාණ්ඩ තැන්පත් කළ තිබුණි. ඊට අමතරව අසිපත්, කුසලාන, ඔටුනු සහ මාල ද ඒවායේ හිමිකරුවන් සමඟ මිහිදන් කර තිබිණි.


සිංහ දොරටුව
සිංහ දොරටුව ලෙස හැඳින්වෙන්නේ ‘මයිසේනියා’ නගරයේ පිවිසීමේ දොරටුවයි. ගල්වලින් නිර්මාණය කළ මෙම දොරටුවේ ඉහළින් සිංහයින් දෙදෙනෙක් කැටයම් කර තිබේ. එයින් සංකේතවත් කළේ මයිසේනියානු රාජ පවුල්වලයි. මෙම දොරටුව ඉදි කර ඇත්තේ කි‍්‍ර.පූ. 1250 දීය.


රත්තරන් අවමංගල වෙස් මුහුණ
මේ රනින් කළ අවමංගල්‍ය වෙස් මුහුණ සොයා ගැනුනේ පුරාවිද්‍යාඥ හෙයින්රිච් ෂිලයිමාන් විසිනි. මෙම වෙස් මුහුණ මයිසේනියා නගරයේ ශ්‍රේෂ්ඨ රජෙකු වූ ද ට්‍රෝයි පුර සංග‍්‍රාමයේදී නායකත්වය ගෙන කටයුතු කළ ආගමෙනොන් රජුගේ මුහුණ ආවරණය කිරීමට යොදා ගෙන ඇති බව ඔහු පවසයි. මෙම වෙස් මුහුණ හමුවීම සිහිනයක් සැබෑ වීමක් බව පුරාවිද්‍යාඥ හෙයින්රිච් ෂිලයිමාන් පවසයි. එහෙත් වර්තමාන විද්වත්හු මේ ගැන වාද විවාද කරති. ඔවුන් පවසනුයේ ෂිලයිමාන්ට හමුවූ සොහොන් ගැබ ආගමෙනොන් රජුගේ කාලයේ ඉදි කළ එකක් නොව එය ඊට වසර 300 කට පෙර ඉදිකරනු ලැබූවක් බවයි.


ට්‍රෝයි පුරය වැනසූ යෝධ ලී අශ්වයා
ට්‍රෝජන් යුද්ධය ඇරඹුණේ ආගමෙනොන් රජු මයිසේනියානු හමුදා සමඟ ට්‍රෝයි පුරවරය ආක‍්‍රමණය කළේ ඔහුගේ නෑනණ්ඩිය වූ සුරූපී හෙලන් කුමරිය ට්‍රෝජන් කුමරකු වූ පැරිස් සමඟ ටෝයි පුරයට පැනගිය නිසා ඇයව යළි ලබා ගැනීමටය. ආගමෙනොන් ඇතුළු අනෙකුත් ග‍්‍රීක වීරයින්ට ට්‍රෝයි පුරවරය වටා වූ ශක්තිමත් මහා ප‍්‍රාකාරය අබිබවා යාමට නොහැකි විණි. අවසානයේ ප‍්‍රඥාවන්ත ඔඩිසියස් යෝධ ලී අසකු සාදා ගී‍්‍රක හමුදාවේ දක්ෂතම රණ ශූරයින් ඒ අසු තුළ සඟවා ට්‍රෝයි පුරයට ගෙන යන්න සැලැස්වීමෙන් පසු ට්‍රෝයි පුරය ආක‍්‍රමණය කළ බව මහා කවි හෝමර්ගේ ‘ඉලියඞ්’ නම් වීර කාව්‍යයේ සඳහන් වේ.

මිනෝවානුවෝ
කි‍්‍ර.පූ. 6000 - පළමු ගොවීහූ කේ‍්‍රට් දූපතේ ස්ථිර ජනපද පිහිටුවා ගත්හ.
කි‍්‍ර.පූ. 3000-1000 - කේ‍්‍රට් දූපතේ හා ග‍්‍රීක වැසියෝ ලෝකඩ නිපදවීමට හුරුවූහ.
කි‍්‍ර.පූ. 2000 - කේ‍්‍රට් දූපතේ පළමු රජ මාළිගා ඉදි කෙරිණි.
කි‍්‍ර.පූ. 1700 - භූමි කම්පාවලින් රජ මාළිගා විනාශ විණි. පසුව ඒවා යළි ඉදිකෙරිණි.
කි‍්‍ර.පූ. 1600 - පළමු මයිසේනියානුවන් කේ‍්‍රට් දූපතට පැමිණීම.
කි‍්‍ර.පූ. 1450 - ගිනිකඳු පිපිරීමක් හේතුවෙන් නෝසස් ඇතුළු සියලූම රජමාළිගා විනාශ විය.
කි‍්‍ර.පූ. 1100 - මිනොවානු ශිෂ්ටාචාරයේ අවසානය.

මයිසේනියානුවෝ
කි‍්‍ර.පූ. 1600-1100 - මයිසේනියානුවෝ ගී‍්‍රසියේ ආධිපත්‍යය පැතිරවූහ.
කි‍්‍ර.පූ. 1450 - මයිසේනියානුවෝ කේ‍්‍රට් දූපතේ පාලකයෝ වූහ.
කි‍්‍ර.පූ. 1250 - ට්‍රෝයි පුරයේ බිඳ වැටීම සිදුවීම.
කි‍්‍ර.පූ. 1200 - මයිසේනියානු සංස්කෘතිය කෙමෙන් පරිහානියට ලක්වීම. ඊට ප‍්‍රධාන හේතු වූයේ වගා පාලූවීම සහ දුර්වල ආර්ථිකයයි.
කි‍්‍ර.පූ. 1100-800 - ගී‍්‍රක අඳුරු යුගයේ ආරම්භය.


............................................................................................................................... 

මහා ගංගා දෙකකට මැදි වූ දේශය : මෙසපොටේමියානු ශිෂ්ටාචාරය

ජාර්මෝ කන්දේ සිට දකුණට ඇත්තේ උෂ්ණාධික කාන්තාරමය නිසරු බිම් පෙදෙසක්. නිසරු වුනත් මේ භූමි ප‍්‍රදේශය හරහා ගංගා දෙකක් ගලා බසින්න වුණා. නයිල් ගංගාව වගේම මේ ගංගා දෙකත් වසරකට වරක් පිටාර ගලා යනවා. නයිල් ගංගා නිම්නයේ පස සාරවත් වී ජනාවාස බිහිවුණා සේම මේ ගංගා නිම්නයේත් ජනාවාස බිහි වීම ඇරඹුණේ මේ හේතුව හින්දයි. ග‍්‍රීකයන් මේ සාරවත් භූමිය හැඳින්වූයේ ‘මහා ගංගා දෙකකට මැදි වූ දේශය’ එසේත් නැතිනම් මෙසපොටේමියාව කියලයි. මේ ගංගා දෙක තමයි යුප‍්‍රටීස් සහ ටයිග‍්‍රීස්. යුප‍්‍රටීස් හා ටයිග‍්‍රීස් ගංගා නිම්න ආශි‍්‍රතව මෙසපොටේමියාවේ ප‍්‍රධාන වශයෙන් මහා ශිෂ්ටාචාර තුනක් බිහි වුණා ඒවා තමයි සුමර්, ඇසිරියා සහ බැබිලෝනියා.




මෙසපොටේමියා හෙවත් මාරි සොයා ගැනීම
යුප‍්‍රටීස් ගංගාවේ බටහිර ඉවුරේ වැලි සහ දූවිලිවලින් පිරුණු පහත් කඳුකරයේ (මෙම ප‍්‍රදේශය වර්තමානයේ අයත් වෙන්නේ සිරියා සහ ඉරාක දේශසීමාවටයි) සොහොන් වලක් කපද්දී සිරියානු ජාතිකයන් පිරිසකට පැරණි පිලිමයක් හමුවුණා. මේ ගැන උනන්දු වූ ප‍්‍රංශ පුරාවිද්‍යාඥ කණ්ඩායමක් ඇවිත් මෙම ප‍්‍රදේශයේ වැඩිදුර කැණීම් ආරම්භ කළා. මේ කැණීම්වල ප‍්‍රතිපලය වුනේ ‘මෙසපොටේමියා නගරය’ එසේත් නැතිනම් ‘මාරී’ නගරව සොයා ගැනීමයි. වසර 6 ක් යද්දී මෙම ප‍්‍රංශ පුරාවිද්‍යා කණ්ඩායමට හැකිවුණා නටඹුන් වී ගිය ඉතාමත් අනර්ඝ මාලිගාවක් සහ ඒ අසළ ඉදි කළ දේවාල මතු කර ගන්නට. පිටතින් බලද්දී මෙම මාලිගාව බලකොටුවක් වගෙයි. ඒත් ඇතුළට ගිය විට සුවපහසු කාමර, ගල් ඇල්ලූ නානකාමර, මනා වැසිකිළි පද්ධතියක් සහ අපද්‍රව්‍ය බැහැර කරන පද්ධතියක් දකින්න ලැබුණා. ඒ විතරක් නොවේ මෙම මාලිගාවේ බිත්ති චිත‍්‍රවලින් අලංකාර කර තිබුණා. මෙහිදී ඔවුන්ට හමුවුණා මැටි පුවරු 25,000 ක්. මේ මටි පුවරු කීලාකාර අක්ෂරවලින් පිරී තිබුණා. මාරි දේශයේ රජවරුන් වැදගත් දේ සටහන් කර තැබුවේ මේ පුවුරුවල. රජවරුන්ගේ ආදායම් මාර්ග ගැන හා මුදල් ලැබෙන ක‍්‍රම සහ ඒවා වියදම් කළ අයුරු, මාරි වැසියන්ගේ වෙළඳ කටයුතු සහ අසල් වැසි රජවරු හා රාජ්‍යයන් ගැන තොරතුරු මේවායේ සටහන් වී තිබුණා. අසල්වැසි රටවල සිටි සතුරු හා මිතුරු රජවරුන් කවුරුන්ද ආදී දේවල් පවා එහි අඩංගු වුණා. මෙසපොටේමියාවේ ඓතිහාසික තොරතුරු දැන ගැනීමට මෙම මැටි පුවරු ඉතිහාසඥයින්ට ඉතා වැදගත් වුණා.


බැබිලෝනියාවේ හමුරාබි
මෙම මැටි පුවරු හමුවෙන්න කලින් පුරාවිද්‍යාඥයන් විශ්වාස කළේ කි.පූ. 1800 සහ 1750 කාලයේ මෙම ප‍්‍රදේශයේ ජීවත් වූයේ එක් රජ කෙනෙක් පමණයි කියලයි. ඒ රජු තමයි බැබිලෝනියානු දේශයේ හමුරාබි රජ්ජුරුවෝ. පුරාවිද්‍යාඥයන් මේ බව අනුමාන කළේ මුලින්ම සිදුකළ කැණීම්වලදී සොයා ගත් සාක්ෂි අනුවයි. හමුරාබි රජු හා මෙසපොටේමියානු ඉතිහාසය සම්බන්ධ ඉතිහාසඥයින් තුළ තිබූ ආකල්ප සියල්ල පවා මෙම මාරි කැණීම් ඇනුව වෙනස් වුණා. අද අපි මෙසපොටේමියාව ගැන දන්නේ පුරාවිද්‍යා තොරතුරු හා මෙසපොටේමියානුවන් ඔවුන් ගැන ලියා තිබූ තොරතුරු අනුවයි. ඒත් මෙසපොටේමියාව ගැන මිසර වැසියන්, යුදෙව්වන් සහ ග‍්‍රීක වැසියන් ලියූ තොරතුරු පවා හමුවී තියෙනවා. ඔවුන්ගේ සිතුවම්වලින් මෙසපොටේමියාව ගැන කරුණු කාරණා රැුසක් හෙළි වී අවසන්. මෙසපොටේමියාවේ බිහිවූ බුද්ධිමත් ම, කලාකාමී රජු ලෙස සැළකෙන්නේ හමුරාබි රජු (ක‍්‍රි.පූ. 1792 - 1750) ය. හමුරාබි රජු මෙසපොටේමියාව ආක‍්‍රමණය කළ පසු ඔහු ඔහුගේ රාජධානිය හා බලකොටුව වුණේ අවුරුදු 4000 කට පෙර යුප‍්‍රටීස් ගංගා නිම්නයේ ඇති වූ ජනාවාස සමූහය කෙමෙන් වර්ධනය වීමෙව් බිහිවූ බැබිලෝනියා නගරයයි. හමුරාබි රජු ඔහුගේ රටවැසියන් හා රාජ්‍යය පාලනය කළේ පුරාණ සාම්ප‍්‍රදායික ගරු කරමින් සිය රටවැසියන් ආරක්ෂා කිරීමට නීතිරිති ආදිය පනවමිනුයි. ඔහුගේ රාජ්‍යපාලන කටයුතු සඳහා පනවා තිබූ නීති 282 ක් ඔහු විසින් ශිලා ස්ථම්භයක කීලාකාර අක්ෂරවලින් කොටා තිබෙනවා. හමුරාබි රජුගේ අධිරාජ්‍යය 1595 දී බිඳ වැටිණේ ඇනටෝලියාවෙන් පැමිණි හිටයිටිවරුන්ගේ කොල්ලකෑම් හා ඊටපසු කඳුකරයේ සිට පැමිණි කැසිට්වරුන්ගේ ආක‍්‍රමණයන් සමඟයි.

ක‍්‍රි.පූ. 1600 සිට 1190 දක්වා කාලයේ බැබිලෝනියාව පාලනය කළේ කැසිට්වරුනුයි. කැසිට්වරු වඩාත් ප‍්‍රසිද්ධ ඔවුන් දේශසීමා මායිම් ලකුණු කිරීමට තැන්පත් කළ ඉතා අලංකාර කැටයම්වලින් සිතුවම් කළ ‘මායිම් ගල්’ නිසාය. සාරවත් බිම් පෙදෙස් සහ නිසරු බිම් පෙදෙස් ලකුණු කිරීම සඳහා ඔවුන් වෙන වෙනම කැටයම් කළ ගල් කුට්ටි යොදා ගත්හ. මෙම ගල් කුට්ටිවල කැටයම් කර තිබුණේ කැසිට්වරු දේවත්වයෙන් වන්දනාමාන කළ රූප හා සංකේතවලිනුයි. කැසිට්වරුන්ගේ පාලනය අවසන් වීමත් සමඟම බැබිලෝනියාව තව තවත් පරිහානියට පත්විණි. ක‍්‍රි.පූ. 689 දී ඇසිරියානුවන් අතින් බැබිලෝනියාව විනාශයට පත්විණි. ඒත් ක‍්‍රි.පූ. 612 දී බැබිලෝනියානුවෝ යළි නැගී සිට ඇසිරියානුවන් පරාජයට පත් කළහ. ඉන්පසු යළිත් වතාවක් බැබිලෝනියාව ලෝකයේ එවකට පැවති ශ්‍රේෂ්ඨතම නගරය බවට පත්විණි. කි.පූ. 539 දී බැබිලෝනියාව පර්සියානු අධිරාජ්‍යයට යා විණි. කි‍්‍ර.පූ. 1770 දී හමුරාබි රජුට මෙසපොටේමියාවෙන් වැඩි කොටසක් අල්ලා ගැනීමට හැකිවී තිබුණි. බැබිලෝනියා අධිරාජ්‍යය පැවතුණු අවධිය පුරාම අගනුවර ලෙස පැවතුණේ බැබිලෝනියානු නගරයයි.

සුමේරියානුවෝ
යුප‍්‍රටීස් සහ ටයිගී‍්‍රස් ගං ඉවුරු සාරවත් වුනත් ඒවා වගා බිම් ලෙස භාවිතා කරන්න මනාව සකස් කළ යුතු වුණා. කලින් කළට ගංගා පිටාර ගැලීමෙන් ඇති වූ ගංවතුර තත්වයන් කුඩා ඇල මාර්ග සහ වේලි ඉදි කරමින් පාලනය කිරීමට සිදුවුණා. මෙසපොටේමියාවේ මුල්ම ජනාවාස පිහිටුවා ගත්තේ ගංවතුරින් බලපෑමට ලක් නොවූ උස් ගංගා නිම්නවලයි. ඔවුන් සාරවත් පස අවශ්‍ය පරිදි සකස් කර ගත් නිසා වගා බිම් ලෙස යොදා ගැනුණා. අසළ පිහිටි වගුරු බිම්වලින් මසුන්, තාරාවුන් අහාර වශයෙන්ද පැල්වත් සෙවිලි කිරීමට පන් ද ලබා ගැනීමට හැකිවුණා. වගාබිම්වල වර්ධනයත් සමඟ ප‍්‍රදේශයේ ඉදිවූ ගම්මාන විශාල වුණා. ක‍්‍රි.පූ. 4000 සහ 3000 අතරේ උතුරින් ආ ජන කොට්ඨාශයක් මෙසපොටේමියාවේ දකුණින් පිහිටි ප‍්‍රදේශවල ජනාවාස පිහිටුවා ගත්තා. සුමේරියානුවන් ලෙස හැඳින්වෙන්නේ මොවුන්. මොවුන් දක්ෂ ගොවීන් හා අත්කම් ශිල්පීන් වුණා. විශාල පිරිසක් සාමූහිකව කටයුතු කරන අයුරු මොවුන් ඉගෙන ගෙන තිබුණා. කුඩා පිරිසකට කළ නොහැකි කාර්යයන් රැසක් එකමුතුව කිරීමට ශවුන්ට හැකිවුණේ එහෙයිනි. රජවරුන්ගේ මඟ පෙන්වීම් යටතේ සුමේරියානුවන් ගංගා හරහා වේලි, ඇල මාර්ග සහ ජලාශ ඉදි කළා.


කි‍්‍ර.පූ. 539 දී දෙවැනි සයිරස් රජු බැබිලෝනියා රාජ්‍යය තම අධිරාජ්‍යයට ඈදා ගත්තේය. සයිරස් රජුගේ පුත‍්‍රයා කැම්බයිසිස් බලහත්කාරයෙන් බලයෙන් පහකර බලයට පත්වූ පළමු ඩැරියස් බැබිලෝනියා රාජ්‍යය දියුණු කළා. බැබිලෝනියානු අධිරාජ්‍යය සමයේ ශ්‍රේෂ්ඨ සාහිත්‍ය හා කලා නිර්මාණ බිහිවිය. එදා මෙන්ම අදත් ඒවා ලොව පුරා ප‍්‍රසිද්ධියටත් පත්වී ඇත. අමරණීයත්වය සොයා ගිය සුමේරියානු වීරයා ගිල්ගමේෂ්ගේ වික‍්‍රමය ඒ අතර කැපී පෙනෙනවා. මෙම වීර කතාව කීලාක්ෂර මගින් මැටි ඵලකවල සටහන් කොට ඇත. මීට අමතරව අලංකාර සිතුවම් ඇදි ඵලක, වීදුරු නිර්මාණ තිබෙනවා.

ඉෂ්තාර් දොරටුව
නෙබුකැඞ්නෙසාර් රජු විසින් ඉදි කළ අපූරු නගර ද්වාරය බැබිලෝනියානු අධිරාජ්‍යයේ වාස්තු විද්‍යා බල මහිමය කියා පෑමට සමත්වෙයි. මෙය ඉෂ්තාර් දොරටුවයි. කළු පැහැති මෙම දොරටුවේ රනින් ඇඳි අලංකාර සැරසිලි සහ මකර සහ ගව රූප දැකිය හැකියි. මකර රූපවලින් මාඩුක් දෙවියන් නිරූපණය වෙයි. ගව රූපවලින් නිරූපණය වන්නේ කාලගුණයට අධිපති අදාද් දෙවියන්ය. මෙම දොරටුව ආරක්ෂක පවුරක් ලෙස ද භාවිතා කර තිබේ.

විද්‍යාවෙන් පෝෂණය වූ බැබිලෝනියානුවන්
උගතුන්ගේ හා විද්‍යාඥයන්ගේ පුරයක් ලෙස ද බැබිලෝනියාව සැළකේ. බැබිලෝනියාවේ දක්ෂ තාරකා විද්‍යාඥයින් තරු සහ ග‍්‍රහලෝක ගැන පුළුල්ව අධ්‍යයනයන් කර ඇත. ඒ ගැන තොරතුරු සටහන් කළ මැටි ඵලක පුරාවිද්‍යාඥයින්ට හමුවී තිබේ. අනාගතය හෙළිකිරීමට ඔවුන් මේ තොරතුරු යොදා ගත්හ. ඔවුන්ගේ මේ තොරතුරු කොතරම් පැහැදිලි හා නිවැරදිව කිවහොත් වර්තමාන තාරකා විද්‍යාඥයින්ට අතීතයේ සිදුවූ තාරකා විද්‍යා තොරතුරු දැනගැනීමට ඒවා උපකාරී වී තිබේ. පුරාණ ගී‍්‍රක සහ රෝමවරු බැබිලෝනියානු තාරකා විද්‍යාඥයින්ගේ ක‍්‍රම යොදා ගනිමින් ග‍්‍රහලෝක නම් කළහ.


බැබිලෝනියානුවන්ගේ ආගම්
බැබිලෝනියානුවන් ඇදහූයේ සුමේරියානුවන්ගෙන් දායද වූ ආගමයි. ඒ අනුව දෙවිවරු හා දේවාත්ම ඔවුන්ගේ ජීවිතවල සෑම කටයුත්තකටම සම්බන්ධ බව විශ්වාස කළහ. මෙම දෙවිවරුන්ගෙන් ප‍්‍රධාන තැනක් ගත්තේ අහසට අධිපති ‘අනු’ දෙවියායි. අනෙක් වැදගත් දෙවි දේවතාවුන් සියලූම දෙනා උපන්නේ ‘අනු’ දෙවිදුන්ගෙනි. ඒ අතර ‘ඉෂ්තාර්’ ආදරය හා යුද්ධයට අධිපති දෙවඟන, බුද්ධියට හා ජලයට අධිපති ‘ඒආ’ කැපී පෙනෙයි. බැබිලෝනියාවේ දෙවියන් ලෙස සැළකෙන ‘මාඩුක්’ දෙවියන්ගේ පියා ලෙස සැළකෙන්නේ ‘ඒආ’ ය. බැබිලෝනියානුවන්ගේ විශ්වාසය වූයේ ලෝකය මැව්වේත් දෙවිවරුන්ගේ රුධිරය මුසු කරමින් මනුෂ්‍යයින් මැව්වේත් ‘මාඩුක්’ දෙවියන් බවයි.

බැබිලෝනියාව යළි ගොඩ නැගූ නෙබුචැඞ්නෙසාර්
නෙබොපොලේසර් නම් බැබිලෝනියානු රජු ඇසිරියානු හමුදා පරාජය කිරීමෙන් පසු ඔහුගේ පුත් නෙබුකැඞ්නෙසාර් (කි‍්‍ර.පූ. 605-562) පරිහානියට පත්ව තිබූ බැබිලෝනියානු නගරය මහා පරිමාණයෙන් දියුණු කිරීමට පටන් ගත්තේය. ඔහු විසින් ඉදිකළ අපූරු නිර්මාණ අතර ඉෂ්තාර් දොරටුව සහ දේවාලයත් සිගරට් නම් කලූනත් කැපී පෙනෙයි.

බැබිලෝනියාවේ එල්ලෙන උයන
ග‍්‍රීකවරුන්ට අනුව නෙබුචැඞ්නෙසාර් රජු තවත් එක් අපූරු ඉතාමත් අලංකාර නිර්මාණයක්ද ඉදිකරවනු ලැබිණි. ඒ ඉපැරණි පුදුම හතෙන් එකක් වූ බැබිලෝනියාවේ එල්ලෙන උයනයි. කඳුකරයේ සුන්දර ගස්කොළන්වලින් පිරි දේශයකින් ගෙනා තම බිරිඳගේ පාළුව හා කාන්සිය මකන්නටත් ඇයට ඇගේ ගම්බිම් මතක් වීමටත් මෙම එල්ලෙන උද්‍යානය නිර්මාණය කළ බව ඉතිහාසයේ දැක්වෙයි.


...............................................................................................................................